-ඔබේ ගෙවත්තටත් වගා කුළුණක්-



 -ඔබේ ගෙවත්තටත් වගා කුළුණක්-

කුඩා ඉඩ කඩක් වුවත් හොඳ සැලසුමක් සහ කැප වීමක් මත වගා කිරීමෙන් සරු ගෙවත්තක් සහ  ඉතාමත් හොඳ ආදායමක් ලබා ගත හැකිය.මේ සඳහා ඔබේ ගෙවත්තට එක්කර ගත හැකි ඉතාමත් ඵලදායි වගා ක්‍රම රාශියක් ඇත. ඒ අතරින් වගා කුළුණ තවත් එක් අංගයකි.වගා කුළුණක් ඔබේ ගෙවත්තට එක් කර ගැනීම මගින් තිරස්  හා සිරස් බෝග වගාවේ අත්දැකීම එකවර ඔබට ලබා ගත හැකිය. 

වගා කුළුණක් සාදා ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: 

50Kg ප්‍රමාණයේ පොහොර බෑගයක්

අඩි 7ක් පමණ දිග උණ බටයක් හෝ විෂ්කම්භය  අගල් 5ක PVC බටයක් 

වැලි

ගඩොල්කැබලි ,ගල් කැබලි, හෝ බොරළු 

මතුපිට පස් 

දිරූ ගොම, කුකුල් පොහොර හෝ කොම්පෝස්ට්

වගා කුලුණ සාදා ගන්නා ආකාරය

     කුලුණ ස්ථාපිත කිරීම සඳහා ගෙවත්තේ හොඳින් හිරු එළිය වැටෙන සුදුසු ස්ථානයක් තෝරාගන්න.

පළමුව කුළුණට ජලය එක් කිරීම සඳහා බටය සකසා ගනිමු .

මේ සඳහා ඔබට උණ බටයක් හෝ PVC බටයක් යොදාගත හැකිය.

උණ බටයෙහි පතුලේ පුරුකෙහි ගැට්ට ඉතිරි කර උඩ ගැටි සියල්ල කඩා දමන්න.මෙයට අලවංගුවක් භාවිතා කළ හැකි ය. ඉන්පසුව නියනක් හෝ බුරුමයක් ආධාරයෙන් උණ බටයේ බිත්තිය තැනින් තැන සිදුරු කරන්න. උණ බටයේ සංවෘත පැත්ත යටට සිටින ආකාරයට එක් පුරුකක් පමණක් යටවන සේ පොළවේ සිටවාගන්න.

උණ බටය වෙනුවට PVC බටයක් යොදා ගන්නේ නම් එය ද තැනින් තැන සිදුරු කරගන්න.PVC  බටයේ එක් කෙළවරක් සංවෘතකර ගන්න.සංවෘත කෙළවර යටට සිටින සේ පොළවේ සිටවාගන්න .

පොහොර කවරයේ පතුලේ මැද  සිදුරුකර සිටවන ලද උණ බටය තුලින් පහලට ගන්න.පොළොවේ පස් ස්වල්පයක් ඉවත් කර පොහොර බෑගය තබා මල්ලේ අඩියට  අගල් 3ක් පමණ උසට වැලි දමන්න.ඒ මත අගල් 5ක් පමණ උසට ගඩොල් හෝ බොරළු තට්ටුවක් දමන්න.ඉන්පසුව මල්ල පිරෙන තෙක් මතුපිට පස්, ගොම, කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් සම ප්‍රමාණයෙන් මිශ්‍ර කර ගෙන මල්ල පුරවන්න. 

උණ බටය පස් පුරවන ලද මලට වඩා මදක් ඉහලින් තිබිය යුතුය. පසුව මල්ලේ පිටත සිදුරු කරමින් පැල වර්ග සිටුවිය හැක.මාධ්‍ය මතුපිටද බෝග ස්ථාපනය කල හැකි ය. වගා කුළුණෙහි වගාකර ඇති බෝග සඳහා තෙතමනය ලබා දෙන්නේ දිනපතා උණ බටයේ ඉහළ කෙළවරින් ජලය එක් කිරීමෙනි. උන බටයේ සාදා ඇති සිදුරු හරහා වගා කුලුණ පුරා සමාකාර ව පැල වලට ජලය සැපයීම සිදුවේ.මෙම ජලය සමග දියර පොහොර  හෝ රසායනික පොහොර මිශ්‍ර කර එක් කළ හැකි ය.

සුදුසු බෝග වර්ග 

ස්ට්‍රෝබෙරි

තක්කාලි

නිවිති 

සලාද

ගෝවා 

පලා වර්ග

   එමෙන්ම වගා කුළුණේ මාධ්‍ය මතුපිට රාබු, කැරට්, බීට්, මිරිස් වැනි බෝග වගා කළ හැකිය.

මෙම වගා  ක්‍රමයේ වාසි 

එක් වගා කුළුණක එකවර බෝග වර්ග රැසක් වගා කළ හැකිය.මේ සඳහා අවශ්‍ය වන්නේ අඩු ඉඩකඩකි.සි‍රස් සහ තිරස් දෙයාකාරයටම බෝග වගා කිරීමේ අත්දැකීම මෙම ක්‍රමය මගින් ලබාගත හැකිය.පොළොව සමග ගැටීම අවම වීම හේතුවෙන් වල් පැල හට ගැනීමත් රෝග පලිබෝධ ඇතිවීමත් අවම ය.ගෙවත්තට  අලංකාරයක් මෙන්ම බෝග වගාව තුළින් ලැබෙන මානසික තෘප්තියත් මෙමගින් ඔබට නිතැතින්ම ලබාගත හැකිය.

සටහන - දිනිතිකා විදානගමගේ

Dinithika Widanagamage

Design by - Hasini Dilinika


Post a Comment

0 Comments