ගෙවත්තේ පස මෙන්ම ජලය කළමනාකරණය කරන ආකාරය පිළිබඳ මූලික කරුණු අපි පසුගිය ලිපියකින් සාකච්ඡා කළා. අද අපි බලමු හිරු එළිය සහ අවශේෂ ද්‍රව්‍ය කළමනාකරණය කරන්නෙ කොහොමද කියලා.
හිරු එළිය කළමනාකරණය
හිරු එළිය ප්රශස්ත ලෙස ප්‍රයෝජනයට ගත හැකි අන්දමින් විවිධ බෝග සංස්ථාපන ක්‍රම අනුගමනය කරන්න පුලුවන්.
නිදසුන් : බහු ස්තර බෝග වගාව, අතුරු බෝග වගාව
ගෙවත්තේ සෑම තැනකටම දවස පුරාම හිරු එළිය එකම ආකාරයෙන් පතිත නොවන නිසා වගා බිමට පතිතවන හිරු එළියේ කාල සීමාව සහ එහි තීව්‍රතාවට ගැලපෙන අන්දමේ බෝග වර්ග තෝරා ගැනීමත් වැදගත් වේ.මෙය ගෙවත්ත පිළිබඳ ඇති අත්දැකීම් ඇසුරෙන් සිදු කිරීම හෝ පහත දැක්වෙන නියමිත ක්‍රමවේදයට අනුවද සිදු කළ හැකිය.
• වළාකුළු අවම හොදින් හිරු එළිය වැටෙන දිනයක් තෝරා ගැනීම
• පරිමාණයට අනුව ගෙවත්තේ දළ සැලසුමක් නිර්මාණය කිරීම හා දිශාවන් ලකුණු කර ගැනීම
• තෝරාගත් දිනය තුළ පෙරවරු 8.00 සිට පැයකට වරක් බැගින් ගෙවත්තට හිරු එළිය ලැබෙන ස්ථාන වර්ණ කීපයකින් සිතියම මත සලකුණු කිරීම
• මෙහිදී දිනය අවසානයේ ආලෝකය වැඩිපුර ලැබෙන ස්ථාන වැඩිපුර වාර ගණනක් සලකුණු වී තිබෙනු දැකිය හැකිය.
• ඒ අනුව පැය 6-8 ක් ආලෝකය ලැබෙන ස්ථාන සදහා ආලෝකය ප්‍රිය කරන ශාක ,පලතුරු බෝග ආදියත්
පැය 4-6 ආලෝකය ලැබෙන ස්ථාන සදහා පළා වර්ග ආදියත්
පැය 2-4 වැනි ඉතාම අඩු කාලසීමාවක් ආලෝකය ලැබෙන ස්ථාන සදහා සෙවණකාමී ශාක වර්ග යනාදියත් සංස්ථාපනය කළ හැකිය.
මීට අමතරව ඔබ දැක ඇති සමහර බෝග වල අනවශ්‍ය ලෙඩ වැඩෙන අතු නිසා ඇතිවන අන්‍යෝන්‍ය සෙවණ ඇතිවීමේ තත්ත්වය. මෙහිදී අනවශ්‍ය ලෙස වගා බිමට අවහිරයක් වන එවැනි අතු ක්‍රමානුකූලව ඉවත් කිරීමත් ගෙවත්තට ලැබෙන හිරු එළිය කාර්යක්ෂමව භාවිත කරන්න උපකාරයක් වේවි.
එබැවින් නිසි සැලසුමක් පවතීනම් වගා බිමට පතිතවන හිරු එළියේ කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම අපහසු කාරණයක් නොවන බව ඔබට දැන් පැහැදිලියි.
අවශේෂ ද්‍රව්‍ය කළමනාකරණය
ගෙවත්ත ආශ්රිත පරිසරයේ නිතරම දිරන හා නොදිරන අපද්‍රව්‍ය ජනනය වීම සිදුවන බව ඔබ දන්නවා. ඉතින් ඒ අපද්‍රව්‍ය ගෙවත්ත තුළම කළමනාකරණය කර ගැනීම පරිසර දූෂණය වළක්වන අතරම අපද්‍රව්‍ය චක්රීකරණයටත් ඉවහල් වෙනවා. පහසුවෙන් දිරායන අපද්‍රව්‍ය කොම්පෝස්ට් හෝ වෙනත් කාබනික පොහොරක් සාදා ගන්න ඉතාම පහසුවෙන් භාවිත කරන්න පුලුවන්. මීට අමතරව මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය, ගොවිපළ අපද්‍රව්‍ය හා අපජලය ජීවවායු ඒකකයක් සදහා යොමු කරන්නත් හැකියාව තිබෙනවා.එය ඔබට ආර්ථිකමය වාසියකුත් වේවි.
දිරන අපද්‍රව්‍ය විතරක්ම නෙමෙයි ඉවතලන ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍යත් අපිට ගෙවත්ත තුළදීම කළමනාකරණය කරන්න පුලුවන්. ප්ලාස්ටික් බදුන් තුළ වගාව , බදුන් පාත්ති සහ වැහි පීලි වගා රාක්ක මේවාට නිදසුන් කීපයක්.
සටහන - ප්‍රදීප් නිමන්ත
Pradeep Herath
Design by - Hiruni Vimansa
0 Comments