ගෙවත්තට වද දෙන වල් පැලෑටී පාලනය

 ගෙවත්තට වද දෙන වල් පැලෑටී පාලනය



ශාක පෝෂක, ජලය, ඉඩකඩ සහ ආලෝකය සඳහා බෝග ශාක සමඟ තරඟ කරමින් එහි පැවැත්මට බාධා පමුණුවන පැලෑටියක්, වල් පැලෑටියක් ලෙස අපට හැදින්විය හැකිය.

එනමුත් පාංශු ඛාදනය වැලකීම,කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම, පාංශු ආවරණයක් ලෙස ක්‍රියාකිරීම, මිනිස් හා සත්ත්ව ආහාර ලෙස, ඖෂධ ලෙස, අලංකාරයට, කෙඳි ලබාගැනීමට, මී මැසි පාලනයට, ඇසුරුම් ද්‍රව්‍ය ලෙස වල්පැලෑටි මිනිසාට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. නමුත් කෘෂිකර්මාන්තයේදී, බොහෝ වල්පැළෑටි අවාසිදායක ලෙස ක්‍රියා කරයි. උදාහරණ ලෙස;

 • බෝග වර්ධනය අඩුකර බෝග අස්වැන්න පහල යවයි.

 • බෝග අස්වැන්නේ ගුණාත්මය පහල යවයි.

 • වගා කළ හැකි බෝග සංඛ්‍යාව සීමිත වේ.

 • රෝග පළිබෝධ පාලනය සඳහා වියදම වැඩි වේ.

 • භූමියේ වටිනාකම අඩු වෙයි.

 • සමහර වල්පැළ බෝග වලට විෂ වේ.

වල් පැළෑටි පාලනය ලෙස හදුන්වන්නේ, වල් පැළ මගින් බෝග වලට ඇති වන අහිතකර තත්ත්වයන් පාලනය කිරීම සඳහා වල් පැළ ආර්ථික හානිදායී මට්ටමට වඩා පහළට ගෙන ඒමයි. මෙහිදී වල් පැළ පාලනයට භාවිතා වන ක්‍රම රාශියක් දැක්විය හැකිය. එනම් යාන්ත්‍රික, ශෂ්‍ය විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක, ව්‍යවස්ථාපිත, රසායනික සහ සමෝධාන ක්‍රමයි.

යාන්ත්‍රික ක්‍රම යටතේ ගෘහස්ථ වශයෙන් බහුලව වල්පැළෑටි අතින් උදුරා දැමීම සිදුකරයි. එය පැරණි ක්‍රමයක් වන අතර වඩා ගැඹුරට මුල් විහිදෙන වල්පැළ සඳහා මුල්ලුවක් භාවිතා කල යුතුයි. බිම් සැකසීම මඟින්ද වල්පැළ පාලනය සිදුකළ හැකිය. සී සෑමේදී වල්පැළ වලට තුවාල වීම, වල්පැළ පසට යට වීම සහ ඒවා කාබනික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරමින් පාංශු ලක්ෂණ දියුණු කිරීමට දායක වේ. වල්පැළ වල වායව කොටස් (අතු රිකිලි , කඳ කොටස්) ඉවත් කිරීමෙන්ද වල්පැළ පාලනය සිදුකළ හැකි අතර ඒ සඳහා උදැල්ල, වීසි කැත්ත වැනි උපකරණ භාවිතා වේ. ඒවගේම භූමියේ වගාවන් නොමැති විට වල් මර්ධනයට කාර්‍යක්ෂම ක්‍රමයක් ලෙස ගිනි තැබීම සිදුකළ හැකිවේ. එවිට වල්පැළ වලට අමතරව පාංශු රෝග පලිබෝධ සහ වල්පැළ බීජ ද පිලිස්සෙයි. නමුත් පසේ කාබනික ද්‍රව්‍ය පිලිස්සීම, පාංශු ජීවීන් පිලිස්සීම, පරිසර හිතකාමී ක්‍රමයක් නොවීම වැනි ගැටළු මතුවේ. වසුන් යෙදීම තවත් එක් ක්‍රමයක් වන අතර මෙහිදී දේශීය කොහුබත්, පිදුරු, ලීකුඩු, පොල් අතු වැනි ද්‍රව්‍ය මගින් පස ආවරණය කරයි. ජලයෙන් යට කිරීමෙන් ඇති වන නිර්වායු තත්ත්වයෙන් වල්පැළ පාලනය, බහුලව මඩ වී වගාවේදී සිදු කරයි. පස සූර්‍ය තාපයට ලක් කිරීමද තවත් එක් යාන්ත්‍රික ක්‍රමයකී. මෙහිදී තෙත් පසක් විනිවිද පෙනෙන පොලිතින් වලින් ආවරණය කර සති 4-6 දක්වා කාලයක් සූර්‍යාලෝකයට නිරාවරණය කිරීම සිදුවේ. හරිතාගාර ආචරණයට සමාන ක්‍රියාවක් සිදු වී පසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 10-15 කින් ඉහල ගොස් වල්පැළ බීජ ජීව්‍යතාව නැති වේ. වල්පැළ පාලනය සඳහා උදලු ගෑම සාම්ප්‍රදායික ක්‍රමයක් නමුත් පසට බාධා වීම ගැටළුවකි.

ශෂ්‍ය විද්‍යාත්මකව වල්පැළ පාලනයේදී අනුගමනය කළ හැකි ක්‍රම යටතේ; 

 •  පිරිසිදු රෝපණ ද්‍රව්‍ය භාවිතය (බිත්තර බීජ, බීජ ප්‍රතිකාර)

 • නිවැරදිව බිම් පිලියෙල කිරීම

 • නිවැරදිව පොහොර භාවිතය

 • බෝග මාරුව

 • මිශ්‍ර බෝග මාරුව

 • අතුරු බෝග වගාව

 • කඩින් කඩ වගාව

 • සත්ත්ව බෝග මාරුව

 • ආවරණ බෝග වගාව

 • පරතර පාලනය 

වල්පැළ වල පරපෝෂීන්, විලෝපිකයන් සහ ව්‍යාධිජනකයින් යන ස්වභාවික සතුරන් යොදාගෙන වල්පැළෑටි ගහනය වගාවට තරඟකාරී නොවන මට්ටම දක්වා අඩු කිරීම, ජෛව විද්‍යාත්මක ලෙස වල්පැළ පාලනයයි. මෙහි පියවර 6කි.

 0. යම් වල්පැළෑටිවක් සඳහා උචිත කාරකයින් තෝරාගැනීම

 0. තෝරාගත් ජෛව කාරකයා පරීක්ෂණාගාර තත්ව යටතේ පරීක්ෂණයන්ට ලක් කිරීම

 0. මෙම ජෛව කාරකයා පිලිබද කරුණු ක්ශේත්‍ර පරීක්ෂණ මගින් ඇස්තමේන්තු කිරීම

 0. අලුත් පරිසරයකට හදුන්වා දෙන්නේ නම් එම පරිසරයේ හමුවන ස්වභාවික සතුරන්ට ගොදුරු වේදැයි බැලීම

 0. ධාරක විශිෂ්ඨතාව අධ්‍යනය

 0. මෙසේ තෝරාගත් ජෛව කාරකයා පරීක්ෂණාගාර වල ඇතිකර පරිසරයට මුදා හැරීම

නීතිමය හා ව්‍යවස්ථාමය නියමයන් මගින් ආක්‍රමණශීලී වල්පැළෑටි වගා බිමට ඇතුල්වීම වැලැක්වීම ව්‍යවස්ථාපිත ක්‍රමයට වල්පැළ පාලනයයි. මේ සඳහා ශාක නිරෝධායන මධ්‍යස්ථාන භාවිතා කෙරේ. අභ්‍යන්තර සහ බාහිර ලෙස නිරෝධායන ආකාර 2ක් වන අතර අභ්‍යන්තර නිරෝධායනයේදි රට තුළ වල්පැළ ප්‍රවාහනය වලක්වයි. උදාහරණ ලෙස සැල්වීනියා, පාතීනියම් දැක්විය හැකිය. බාහිර නිරෝධායනයේදි විදෙස් රට වල සිට නව වල්පැළෑටි රට තුළට ඇතුල් වීම වලක්වයි.

රසායනික ක්‍රමයේදී වල්පැළ පාලනයට රසායනික ද්‍රව්‍ය (වල්නාශක) භාවිතය සිදුකරයි. වල්නාශක තේරීමේදී  ක්ෂේත්‍රයේ ඇති වල්පැළ වර්ගය, වල්පැළ වල වයස, සහ වල්නාශක යෙදිය යුතු අවස්ථාව ලෙස සාධක 3ක් සලකා බලයි. 

සමහර වල්නාශක මගින් සියළුම වල්පැළ විනාශ වන අතර තවත් සමහර වල්නාශක මගින් පළල් පත්‍ර වල්පැළ පමණක් විනාශ වේ. එමනිසා ක්ෂේත්‍රයේ බහුලව ඇති වල්පැළ වර්ගය අනුව වල්නාශක තෝරාගත යුතුයි. 

සමහර වල්නාශක වලින් සාර්ථකව පාලනය කළ හැක්කේ නොමේරූ වල්පැළ පමණයි. එවැනි වල්නාශක නිවැරදි අවස්ථාවේදී යෙදිය යුතුයි. (3.4-DPA සහ 2.4-D වැනි වල්නාශක භාවිතා කළ හැකි වන්නේ සති 2ක් වයස වල්පැළෑටි වලටයි) 

වල්නාශක යොදාගත හැකි අවස්ථා 3කි. එනම් බිම් සැකසීමට පෙර, බීජ සිටුවා පැළ මතු වීමට පෙර, වල්පැළ මතු වීමෙන් පසුවයි. ක්‍රමානුකූලව වල්නාශක තෝරාගැනීමෙන් සාර්ථකව වල්පැළ පාලනය කළ හැකි අතර එමගින් පරිසර කටයුතු සහ බෝග වලට සිදුවිය හැකි හානි අවම කරගත හැකිය. 

කෙසේනමුත් වල්නාශක භාවිතය අද වන විට පාරිසරික ගැටළු රැසකට බලපා ඇති බැවින් රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කර හෝ භාවිතා නොකර කෘෂිකාර්මික කටයුතු වල නියැලීමෙන් අපට පරිසර හිතකාමී වගවක් පවත්වාගෙන යා හැකිවේ.

-මහේශිකා රාජපක්ෂ-

Maheshika Rajapaksha

Design by - Inosha Jayalath

Post a Comment

0 Comments