පිදුරු බිම්මල් වගාව-

 පිදුරු බිම්මල් වගාව-



වසර කිහිපයකට පෙර සිට ආහාරයට නිරන්තරයෙන් බිම්මල්  එකතු කර ගැනීමට පවතින උනන්දුව වැඩිවෙමින් පවතිනවා. මේ නිසාම බිම්මල් වගාව සදහා ඇතැමුන් යොමුවන්නේ අමතර ආදායමකුත් ලබා ගත හැකි නිසා. තමන්ගේ ගෙවත්තේ පොඩි ඉඩකඩක් බිම්මල් වගාව සදහා වෙන්කරන්න අපිට පුලුවන්.

දිලීර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්.ඒ උසස් දිලීර හා පහත් දිලීර ලෙස. උසස් දිලීර වර්ග තම ජන්මාණු නිපදවන්නේ මල් වැනි විශේෂ ව්‍යුහයන් තුල යි. මෙය අපගේ සාමාන්‍ය ව්‍යවහාරයේ බිම්මල් ලෙස හැදින්වෙනවා. වර්තමානයේ නිර්මාංශික ආහාරයක් ලෙස බිම්මල් විශේෂ තැනක් ගන්නවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කරන බිම්ම්ල ලෙස මුතු බෙලි බිම්මල් සහ පිදුරු බිම්මල් හදුන්වන්න පුලුවන්.

පිදුරු බිම්මල් ආකාර දෙකක් යටතේ වගා කරන්න පුලුවන්.

1. මැසි හෝ පාත්ති ක්‍රමය

2. රාමු ක්‍රමය

මේ සටහන මැසි හෝ පාත්ති ක්‍රමය යටතේ පිදුරු බිම්මල් වගා කරන අන්දමයි.

මෙම ක්‍රමය යටතේ බිම්මල් වගා කරනවනම් මූලික වශයෙන් අවශ්‍ය කරන ද්‍රව්‍ය කිහිපයක් තියනවා.

- දිලීර නාශක යොදා නොමැති වගාවකින් ලබා ගත්, හොදින් වේලුනු හා වැස්සට හසු නොවුනු පිදුරු හෝ කපු නූල් කැබලි

- මීටර් තුනක් දිග සහ මීටර දෙක හමාරක් පළල කලු පොලිතීනයක්

- ගඩොල් කැට සහ ලෑලි කැබැල්ලක්

- වගා කිරීමට සුදුසු අවස්ථාවේ ඇති නීරෝගී බිම්මල් බීජ

වගා කිරීමට සුදුසු අවස්ථාවේ පවතින විට බිම්මල් බීජ පැකට්ටුව තුල අල්පෙනෙති තුඩු පමණ ප්‍රමාණයේ රෝස පැහැ බීජාණු දක්නට ලැබෙනවා.

පලමුව පිදුරු මිටි අඩි 2 1/2 පමණ දිගකට සකස් කරගෙන එහි මැදින් ස්ථාන 2-3 කින් බැදගන්න.මේ වගේ පිදුරු මිටි 16ක් සකස් කරගෙන පිරිසිදු ජලයට වියලි ගොම කිලෝ ග්‍රෑම් එකක් පමණ දමා එම ජලයේ මේ පිදුරු මිටි පැය 24ක් ගිල්වා පොගවා ගන්න. පිදුරු මිටි ජලය මතුපිටට එන එක වලක්වා ගන්න ඒ මත බරක් තබා ගැනීම කරන්න පුලුවන්.

ඉන්පසු ජලයෙන් ඉවතට ගත්ත පිදුරි මිටි ජලය ඉවත්ව යාම සදහා පැයක් වගේ කාලයක් තබන්න.

පිරිසිදු ස්ථානයක් තෝරගෙන එහි ලී කොට දෙක මත හරස් අතට රීප්ප සකස් කරගන්න. මේ විදිහට සකස් කරගත්ත රීප්ප මත එකිනෙක සමග ස්පර්ශ වෙන විදිහට පිදුරු මිටි 4ක් තියන්න.

බිම්මල් බීජ ඉසිය යුත්තේ පිදුරු මිටි තැන්පත් කර හදාගත්ත තට්ටුවේ පිටත දාරයේ ඉදලා අගල් 2ක් පමණ ඇතුලට වන්නටයි. ඉන්පසු තවත් පිදුරු මිටි 4ක් අරගෙන ඒවා පලමුව තබන ලද පිදුරු මිටි මත තබන්න. මේ විදිහට ඒ මිටි තියද්දී යටින් තිබ්බ පිදුරු මිටි තට්ටුවේ දාර වටේ දැම්ම බිම්මල් බීජ වැසී යන පරිදි තමයි තියන්න ඕන. මේ විදිහට යටින් තියන පිදුරු මිටි තට්ටු දෙකේම දාර වටා බිම්මල් බීජ ඉසිය යුතු වෙනවා.

නමුත් තුන්වන පිදුරු මිටි තට්ටුවේ මතුපිට පුරාම ඒකාකාරීව බිම්මල් බීජ විසුරුවාහරින්න ඕන.ඉතුරු මිටි හතර තුන්වන පිදුරු මිටි තට්ටුව මත තැන්පත් කරන්න ඕන. ඉන්පසු කලු පැහැති පොලිතීනයෙන් පිදුරු මිටි තට්ටු ඔක්කොම හොදින් ආවරණය කරලා ඒ මත ලෑල්ලක් වැනි දෙයක් තබා බරක් යොදන්න.

දින පහකට පසුව පොලිතීනය මත තිබූ බර ඉවත් කරලා ඊටත් දින දෙකකට පස්සේ පොලිතීනයත් ඉවත් කරන්න.

පිදුරු මිටි වියලී ගිහිල්ලනම්,මල් බාල්දියකින් හරි සිදුරු කරගත් ටින් එකකින් හරි ජලය ඉසින්න.

මේ විදිහට සකස් කරගත් පිදුරු පාත්තියක් සදහා දිනකට ජලය බෝතල් තුනක් පමණ දැමීම ප්‍රමාණවත්.

දිම 12-16 කාලයකට පසුව බිම්මල් පිපීම ආරම්භ වෙනවා.

මෙලෙස වගා කිරීම මගින් නිවසේ බිම්මල් අවශ්‍යතාවය පහසුවෙන් ඉටු කරගත හැකි අතර වියදමත් අඩු කරගත හැකිවේවි.

- ආශිංෂණා උදාරි-

Ashinshana Udari

Design by - Hasini Dilinika

Post a Comment

0 Comments